ලාංකේය චිත්‍ර කලාවේ නූතනවාදී ප්‍රවේශය ජස්ටින් දැරණියගල
සත්සර ඉලංගසිංහ, ලලිතකලාවේදී (විශේෂ)
සිළුමිණ, 2008 මැයි 25 දින
මීට වසර 41 කට පෙරාතුව, එනම් 1967 මැයි 24 මෙලොවින් සමුගත් ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පි ජස්ටින් දැරණියගලයන් ගේ චිත්‍ර කලා භාවිතය පිළිබඳ ව මතක සැමැරුමක් තබන්නේ ඔහු ලාංකේය චිත්‍ර කලාවේ නූතනවාදී ප්‍රවේශය සනිටුහන් කළ පුරෝගාමී චිත්‍ර ශිල්පියකු නිසා ම පමණක් නො ව, ඔහු ගේ ප්‍රතිභාව තවත් දශක ගණනාවක් ඉදිරියේ බිහිවන දුහුනන්ට ආභාසය ලබාගත හැකි චිත්‍ර කලා භාවිතය උරුමකම් කී නිසා ය.
1903 ජූලි 20 දින උපත ලද දැරණියගලයෝ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයෙන් මූලික අධ්‍යාපනය ලබාගත් හ. අනතුරු ව එවක චිත්‍ර කලාව පිළිබඳ ව පවත්වාගෙන ගිය, වාසල මුදලි ඒ.සී.ජී.ඇස්. අමරසේකර යටතේ ඇට්ලියර් කලා පාසලෙහි (අමරසේකර කලා පාසල) චිත්‍ර කලාව පිළිබඳ මූලික අධ්‍යාපනය ලබාගත්තේ ය. 1922 ලන්ඩනයේ කේම්බි‍්‍රජ්හි “ට්‍රිනිටි” විද්‍යාලයයෙන් (Trinity College) ද අනතුරු ව ලන්ඩන්හි “ස්ලේඩ්” චිත්‍ර කලා පාසලෙන් (Slade School of Fine Art) ද චිත්‍ර කලා අධ්‍යාපන කටයුතු සපිරේ ය. 1926-27 කාලයේ දී “ස්ලේඩ්” චිත්‍ර කලා පාසලෙන් ඇඳීම සඳහා ඒ කලායතනයෙන් පිරිනැමෙන ප්‍රථම ත්‍යාගය දිනාගැනීමට ඔහු සමත් විය.
දැරණියගල පැරීසියේ “ජූලියන්” කලා පාසලට (Académie Julian) ඇතුළු වූයේ 1928 වර්ෂයේ දී ය. 1934-35 දී දැරණියගල ගේ නිර්මාණ ලන්ඩනයේ දී ප්‍රදර්ශනය කැරිණි. ඔහු ගේ සිතුවම් වඩාත් අන්තර්ජාතික වශයෙන් ප්‍රසාදයක් දිනාගැනීමට සමත් විණි. බොහෝ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන් ගේ ඇසුර ලබා ගැනීමට ඔහුට අවස්ථාව ලැබිණි.
ලන්ඩනයේ දී ඔහු ගේ සිතුවම් ප්‍රදර්ශනය වූයේ කීර්තිමත් ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන් රාශියක ගේ සිතුවම් ද සමඟිනි. පැබ්ලෝ පිකායෝ (Pablo Picasso), මනේ (Manet), තූලෝස්ලෝත්රේ (Toulouse-Lautrec), මතීස් (Matisse) වැනි ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන් ගේ සිතුවම් සමඟ දැරණියගල ගේ සිතුවම් ද ප්‍රදර්ශනය කැරිනි. ඒ ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පීන් ගේ සිතුවම් අතරින් දැරණියගල ගේ සිතුවම් ඇගැයීමට පාත්‍ර විණි. ඔහු ගේ “ප්‍රේමවන්තයෝ” නැමැති සිතුවම ඒ ශ්‍රේෂ්ඨ පාත්‍ර ශිල්පීන් ගේ සිතුවම් අභිබවමින් විශේෂ ඇගැයීමට පාත්‍ර වූ බව කියැවේ.
එවක ප්‍රකට චිත්‍ර කලා විචාරකයන් දෙපළක් වූ ජෑන් ගෝඩ්න් මෙන් ම එරික් නිව්ටන් ආදීන් ගේ අවධානයට ද ඒවා යොමු විය.
දැරණියගල ගේ සිතුවම් පිළිබඳ ව එරික් නිව්ටන් ප්‍රකාශ කළේ “ඔහු ගේ සිතුවම් නිර්මාණය වී ඇත්තේ ස්වභාව ධර්මය ඇසුරිනි.” යනුවෙනි. දැරණියගල 43 කණ්ඩායම් ප්‍රදල සාමාජිකයක් ද විය. 43 කණ්ඩායමේ සිටි නූතනවාදී ප්‍රවණතා අනුව සිතුවම් ගොඩනැඟූ චිත්‍ර ශිල්පීන් අතර ප්‍රමුඛත්වයේ ලා සැලැකිය හැක්කේ ඔහු ය.
ජස්ටින් දැරණියගල සිය පරම්පරාවේ බිහි වූ නූතනවාදී චිත්‍ර ශිල්පීන් අතර පුරෝගාමී චිත්‍ර ශිල්පියා ය. සමකාලීන ලාංකේය චිත්‍ර ප්‍රවණතා මෙන් ම එයට සමගාමී වූ ලෝක චිත්‍ර ප්‍රවණතා පිළිබඳ ව ඔහු මනා අවබෝධයකින් යුතු විය. ඒවා පිළිබඳ ව මනා හැදෑරීම් ද සිදුකරන්නට ඔහු පෙලැබිණි. යුරෝපයේ අධ්‍යාපනය ලැබීම මඟින් ඔහු ගේ පින්තාරු දිවිය පොහොසත් කරගැනීමට අවැසි චින්තන මෙන් ම ශිල්පීය පුහුණුව ද ලැබිණි. නිර්මාණ බිහි කිරීමට ඇවැසි නිදහස් ආකල්පයන් ගෙන් ද හේ ආඪ්‍ය විය. ඔහු නිර්මාණය කළ පින්තාරු කෙරෙන් ඒ පිළිබඳ මනාව විද්‍යමාන වේ.
යුරෝපයේ සිදුවන චිත්‍ර කලාවේ මූලික වෙනස්කම් පිළිබඳ මනාව විද්‍යමාන වේ. යුරෝපයේ සිදුවන චිත්‍ර කලාවේ මූලික වෙනස්කම් පිළිබඳ දැරණියගල වඩාත් සවිඤ්ඤානක විය. ඔහු ගේ සිතුවම්හි එකී ගුණාංගයන් අන්තාර්ග්‍රහණය විණි.
සෝලියස් මෙන්ඩිස් ගේ හෝ ජෝර්ජ් කීට් ගේ සිතුවම්වලට සාපේක්ෂ ව දැරණිය ගේ සිතුවම්හි, පින්තාරුවෙන් දෘශ්‍ය ලෙස ආසියාතික වූ ලාංකේය ලකුණක් දක්නට නො ලැබිණි. ආසියාතික මෙන් ම ලාංකේය වූ සිතුවම් සම්ප්‍රදායයේ බොහෝ විට මූලිකත්වය ලැබෙන්නේ රිද්මක රේඛාව මුල්කරගත් සම්ප්‍රදායයකට ය.
රිද්මක රේඛාව මූලික කොට ගත් චිත්‍ර කලා භාවිතය ආසියාතික හෝ ලාංකේය කලාභාවිතයක් යැයි අපට හැඟෙන්නේ ඓතිහාසික පදනම නිසාදැ යි සිතිය හැකි ය. සීගිරිය, තිවංක පිළිම ගේ, දිඹුලාගල පුල්ලිගොඩ, ධාතුගර්භය මහියංගනය ආදී ස්ථානවල දක්නට ලැබෙන සිතුවම් බොහෝ විට ගොඩනැඟී ඇත්තේ රිද්මක රේඛාව මුල් කොට ගෙන ය.
ඒ අනුව සෝලියස් මෙන්ඩිස්, ජෝර්ජ් කීට්, ආනන්ද සමරකෝන්, මොටාගෙදර වනිගරත්න, මහගමසේකර, ඩැනී විමලසිරි, ජයසිරි සේමගේ ආදීන් ගේ සිතුවම් බොහෝ විට ගොඩනැඟී ඇත්තේ ද රේඛාව මූලික කොට ගෙන ය. එහෙයින් ලාංකේය සමාජයේ බොහෝ දෙනකුට සාපේක්‍ෂ ව ඔවුන් ගේ සිතුවම්හි ද ආසියාතික මෙන් ම ලාංකේය ලකුණ තිබේ.
ඔවුන් ගේ සිතුවම් හි ලාංකේය ගුණාංග අඩංගු නම් ඒ කතිකාව ගොඩනැඟෙන්නේ හුදු චිත්‍රයේ නෙතට ගෝචර දෘශ්‍ය තලය (කැන්වසයේ පෙනෙන දෙස) මත පදනම් ව ගොඩනැඟුණු අදහසක ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව ලාංකේය චිත්‍ර කලා විචාරක සමාජය, රසික සමාජය, ගැනුම්කාර සමාජය මෙන් ම බහුතර ප්‍රේක්‍ෂක චිත්‍ර කලා ලැදි සමාජය චිත්‍රරය විශ්ලේෂණය කරන්නේ චිත්‍රරයේ දෘශ්‍ය තලය, නෙතට ගෝචර දෙය සලකා එය ම මූලික අදහස ලෙස ගෙන යි. ඒ විචාරයට සාපේක්‍ෂ ව දැරණියගල ගේ සිතුවම්හි ලාංකේය ලකුණක් දක්නට නො ලැබේ.
එහෙත් චිත්‍රයේ දෘශ්‍ය තලය (නෙතට ගෝචර දෙය) පරයා චිත්‍රයේ ව්‍යුහාත්මක ගුණාංයන්, ශිල්පීය ප්‍රකාශනයන් හා ආකල්පයන් පිළිබඳ ව ෂශ්ලේෂණයේ දී දැරණියගල ගේ සිතුවම්හි ලාංකේය ගුණාංගයන් මතුවෙන්නට පටන් ගනියි.
දැරණියගල ගේ පින්සලෙහි ද ඔහු ගේ අධ්‍යාත්මයේ ද, ඔහු ගේ ජීවන හුස්මෙහි ද දැවටෙන්නේ ලාංකේයත්වය යි; ගැමි සුවඳ යි. එහෙයින් ආධ්‍යාත්මයෙන් මතුවන පින්තාරුව පිළිබඳ චින්තන ප්‍රවේශයෙහි අඩංගු ගැමි බව හා ලාංකේය බව තම වින්දනයට හසුකර නොගන්නා ලාංකේය සමාජයට හුදු පැතැලි කැන්වස් රෙද්දක තවරන වර්ණ දැකීමෙන් ම පමණක් ශිල්පියකු ගේ සිතුවම්හි ලාංකේය හෝ ආසියාතික බව තීරණය කළ හැකි ද? එහෙයින් දැරණියගල ගේ චිත්‍රයේ දෘශ්‍ය වූ වර්ණ තැවැරීම යුරෝපයේ කුමන ප්‍රවණතාවකට අනුගත වුව ද ඒ සිතුවම්හි ආත්මයේ, අධ්‍යාත්මයේ ප්‍රවේශය ලාංකේය බව යෝජනා කළ හැකි ය.
දැරණියගල විසින් නිර්මාණ “මාතෘත්වය” නමැති සිතුවමින් ද රේඛාව මූලික කොටගත් ජෝර්ජ් කීට් ගේ “මව සහ දරුවා” සිතුවමින් ද මූලික අන්තර්ගය ලෙස යෝජනා කරන්නේ ලාංකේය ගැමි මාතෘත්වය යි.
ජස්ටින් දැරණියගල ගේ බොහෝ ප්‍රසිද්ධියට පත් සිතුවම් රාශියකි. ප්‍රේමවන්තයෝ, මනාලිය, රන්මසු සමඟ සිටින යුවතිය, පියනෝ පාඩම, මාතෘත්වය, කැඩපත අසල සිටින කාන්තාව, අඳ මව සහ දරුවා, බල්ලා, දරුවා සහ කැස්බෑවා ආදිය ඉන් කිහිපයකි.
දැරණියගල ගේ ඒ සිතුවම් අතර අඳ මව සහ දරුවා, රන්මසු සමඟ සිටින යුවතිය, මනාලිය සහ දරුවා සහ කැස්බෑවා නැමති සිතුවම් වඩා උසස් ගුණාංගයන් ගෙන් යුතු සිතුවම් බව සිතිය හැකි ය. ඔහු ගේ සිතුවම්හි දක්නට ලැබෙන එක් විශේෂත්වයක් වන්නේ එකකට එකක් වෙනස් වස්තු විෂයයන්, පින්තාරු විධි ක්‍රමයන් සහ වර්ණ භාවිතයන් දක්නට ලැබීම ය.
එක් සිතුවමක් පින්තාරු කොට නිමා කිරීමෙන් අනතුරු ව අනෙක් සිතුවම ගොඩනැඟීමට ප්‍රවේශ වීමේ දී මුලින් ඇඳි සිතුවමේ කිසිදු ගුණාංගයක් දෙවන සිතුවම හා සම්බන්ධ නොකොට, එය අමතක කොට වෙනත් අලුත් ම සිතුවමක් අරඹයි. ශිල්පීය ක්‍රමවේදය, සංරචනය ආදිය ද එකට එකක් වෙනස් ලෙස භාවිත කරයි.
එක් සිතුවමක චරිතයක් හිතුවක්කාරී ලෙස සිතුවමේ දාරයකට හේත්තු කොට හෝ චරිතයේ වැදත් කොටසක් කපා දමන අතර, තවත් සිතුවමක් වඩා විධිමත් ව සංවිධානාත්මක ව, සැලැසුම් සහගත ව සංරචනය කරයි. එක් සිතුවමක වඩා ඝන ව වර්ණ භාවිත කරන අතරතුර, තවත් සිතුවමක විනිවිද පෙනෙන අයුරින් කොටසක් පින්තාරු කරයි.
ජෝර්ජ් කීට් වැනි චිත්‍ර ශිල්පියකු ගේ සිතුවම් රාශියක් එකවිට නැරඹූ විට යම් සමාන ඒකරාශී වූ ඒකාකාරී බවක් දක්නට ලැබේ. එහෙත් දැරණියගල ගේ සිතුවම් හි ඒකීය වූ ඒකාකාරී වූ ස්වභාවය පරයා බහුවිධත්වයක් දක්නට ලැබේ. මෙකී වූ විවිධත්වය කෙරෙන් වඩාත් සාර්ථක ගුණාත්මක නිර්මාණ බිහි වේ.
ශ්‍රේෂ්ඨ ඉන්දීය චිත්‍ර ශිල්පී එම්.එෆ්. හුසේන් (M. F. Husain) ගේ සිතුවම්හි මේ බහුවිධ ශෛලී ප්‍රවණතාවන් දැකගත හැකි ය. එහෙත් එහි වැදගත්කම වන්නේ ඒකාකාරී වූ ශෛලී ප්‍රවණතාවකට වඩා, විවිධත්වයෙන් යුතු ව නිර්මාණ ගොඩනැඟීමට ඇති හැකියාව යි. ලාංකේය චිත්‍ර ශිල්පි චද්‍රගුප්ත තේනුවර ගේ ද මුල්කාලීන නිර්මාණයන් හි මේ බහුවිධ ශෛලී ප්‍රවණතාව දක්නට ලැබිණි. එයින් වඩාත් සාර්ථක විවිධ වූ නිර්මාණයන් බිහිකිරීමේ හැකියාව ලැබේ.
දැරණියගල ගේ සිතුවම් අතරින් වඩා ශ්‍රේෂ්ඨ ම නිර්මාණය ලෙස හැඳින්විය හැක්කේ “ප්‍රේමවන්තයෝ” නමැති සිතුවම යි. වඩාත් උසස් නූතනවාදී වියුක්ත හැඩතලවලින් සම්පිණ්ඩනය කළ සිතුවම ඉතා හිතුවක්කාරී ලෙස එක් චරිතයක හිස ඛණ්ඩනය කොට තිබේ.
පෙම්වත් යුවළෙහි හැඩතල කෙරෙන් යම් යම් ඝන වර්ණයන් ගෙන් යුතු රේඛා මතු වුව ද ඒවා මතු වී නොපෙනී යයි. වඩා රිද්මක නොනැවතී ගලායන රේඛාවක් එහි දක්නට නොලැබෙන අතර අත්පා මුහුණ හැඩතල ආදිය වියුක්ත හැඩතල මඟින් ගොඩනගා තිබේ.
භාවිත කර ඇති වර්ණ ඉතා පොහොසත් වන අතර, මිශ්‍ර වර්ණයන් ගේ සෝභාව වඩා සුන්දර සිතුවමක් මතු කරයි. රේඛා, වර්ණ හැඩතල, මානව රූ, පෙරබිම, පසුබිම, හැඟීම්, අදහස සියල්ල පරයා එන වියුක්තවාදී හැඩතල යන සියල්ල සමඟ කැන්වස් තලයේ පොරබදන දැරණියගල චිත්‍රය යම් මූලික ඒකාත්මක පදාසයක් සිතුවමෙහි ගොඩනැඟීමට උනන්දු වෙයි.
මානව හැඩතලය හා පසුබිම එක් වර්ණයක් ලෙස පෙනුණ ද එහි මානව හැඩතලය බෙදා වෙන්කරන ඝන කඩ රේඛාව නොතිබුණත්, යොදාගත් ශිල්පීය උපක්‍රම මඟින් පසුබිම මානවරුවින් පසුපසට එළවාදමයි. වරෙක ඝන වන වරෙක සියුම් වන ඛන්සිත රිද්මක නො වූ රේඛා මඟින් හැඩතල මතු කරමින් පරිණත මිශ්‍ර වර්ණයේ සෝබාවෙන් ද වේගවත් පින්සල් පහරවලින් ද සිතුවමට උත්තම ගුණාංගයන් මතු කරලයි.
සමකාලීන සිතුවම්වලට සාපේක්ෂ ව දැරණියගල ගේ මේ “ප්‍රේමවන්තයෝ” නැමැති සිතුවම වඩාත් නූතනවාදී ගුණාංගයන් කැඳවාගෙන ආ බව සිතිය හැකි ය. ඒ සිතුවමෙහි දෘශ්‍ය ලෙස රිද්මක රේඛාලින් යුක්ත නො වී නූතනවාදී හැඩතල මතු වුව ද, සිතුවමේ අන්තර්ගත වස්තු විෂයයෙහි සහ ආධ්‍යාත්මික ප්‍රකාශනයෙහි ලාංකේය ගැමි ප්‍රේමය වහනය විය.
ලාංකේය චිත්‍ර කලාවේ නූතනවාදී ප්‍රවේශය සනිටුහන් කළ පුරෝගාමී චිත්‍ර ශිල්පියා දැරණියගල ය. සමකාලීන ශිල්පීනට සාපේක්‍ෂ ව ඔහු නොබිය ව ලෝක ප්‍රවණතා සහ අනුගත වෙමින්, ඒවායේ ආභාසය ලබා ගනිමින් ලාංකේය වස්තු විෂයයන්ට නූතනවාදී හැඩතල කැඳවාගෙන පැමිණියේ ය.
එහෙත් ලාංකේය චිත්‍ර කලා සමාජයෙහි දැරණියගල ප්‍රමාණවත් තරමට කතාබහට ලක් නොවිණි. ඒ කතා බහට ලක්නොවීමට හේතුව විය හැක්කේ පෙර සඳහන් කළ පරිදි ම, බහුතර ලාංකේය චිත්‍ර සමාජය සිතුවම් හා ගනුදෙනු කරන්නේ හුදු නේත‍්‍රාංජනය කෙරෙහි ම පදනම් ව පමණි.
සුන්දර රේඛා, හැඩතල වර්ණ, සුමට වර්ණ තැවරීම, පොහොසත් මිශි‍්‍රතවර්ණ තැවරීම් ආදියෙහි ම පදනම් ව සිතුවම් රසවිඳීම හෝ විචාරය කිරීම පරයා සිතුවමේ අන්තර්ගතය, ප්‍රකාශන විලාසය, සිතුවම සමඟ පවතින සමාජ සම්බන්ධතා, නව ප්‍රවණතා හා මුසුවීම, මූලික ව්‍යුහාත්මක ප්‍රකාශීය අදහස ආදිය පිළිබඳ ඉතා විමර්ශනාත්මක අවබෝධයකින් යුතු ව සිතුවම් රස විඳීම, විචාරයකිරීම හෝ මිල දී ගැනීම කළ යුතු ය.
එසේ විචාරවත් ව රසවිඳී විට දැරණියගල ගේ සිතුවම් වඩා ශ්‍රේෂ්ඨ ලාංකේය සිතුවම් බවට පත් වේ. චිත්‍රය යනු තව දුරටත් හුදු කැන්වසයේ වර්ණ තැවරීම ම ය යන අදහස පරයා ගිය සමාජීය චින්තාවක, නව බුද්ධි විෂයක පරිකල්පනයක පිළිබිඹුවක්, සමාජීය ප්‍රකාශනයක් ලෙස ඉදිරියට පැමිණ තිබේ.
ඒ අනුව දැරණියගල වැනි ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පියකු ගේ සිතුවම් කියැවිය යුත්තේ වඩා සබුද්ධික ව සහ වඩා ප්‍රකාශනශීලී ව මෙන් ම විශ්ලේෂණාත්මක ව ය. එසේ කියැවීමේ දී දැරණියගල ගේ ප්‍රබල නූතනවාදී චිත්‍ර කලා භාවිතය තවත් දශක කිහිපයක් ඉදිරියේ දී වුවද විශ්ලේෂණයට භාජනය කළ හැකිවනු නිසැක ය.